Green house are used by farmers all around the world for farming under controlled environment.
In Sri lanka, many farmers are starting to try green houses for their crops. However, there are many who fails in this endeavor due to neglect of some important factors.
There are many companies now providing green house installation in Sri Lanka. The cost is usually calculated for numberof square feet required.
The future of farming involves green houses. Here is a note in Sinhala language by Sanjana Ravindu regarding the essentials of green houses in Sri Lanka.
මට ආසයි ග්‍රීන් හවුස් එකක් පටන් ගන්න.
ඔහොම හිතන අපේ රටේ සෑහෙන පිරිසක් ඉන්නවා. හැබැයි ලංකාවේ හරියට හදපු ග්‍රීන් හවුස්, එහෙම නැත්තන් හරිතාගාර/පොලිතින් ගෘහ තියෙන්නේ ඉතාම සීමිත ගණනක්. රැල්ලට පොලිටනල් හදලා අමාරුවේ වැටුන දහස් ගණනක් තියෙනවා අපේ රටේ. අවාසනාවකට එයින් සමහරක ඇතුලේ මේ වෙද්දි තියෙන්නේ බෝග වර්ග වෙනුවෙට රෙදි වැල්, දර හෝ වෙනත් අබලි ද්‍රව්‍ය. මේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව වැරදි තාක්ෂණය තෝරාගැනීම හා වැරදි නඩත්තුව. අන්තිමේදී වෙන්නේ මුදල් අපතේ යාම සහ කලකිරීම පමණයි. ඇත්තටම අපි මුලින්ම බලන්න ඕන ඇයි අපි ආරක්ෂිත ගෘහයක් හදලා පාලිත තත්ව යටතේ බෝග වගා කරන්නේ කියන එක. බලන්න ඒ වචන ටික දිහා. ආරක්ෂිත ගෘහය. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් වෙන්වුන ආවරණය කරනලද ඉදිකිරීමක්. ඊළඟට පාලිත තත්වය. ඔන්න ඕක තමයි කිසිම පාලනයක් නැතිම දේ. අපි මුලින්ම බලන්න ඕන මොකක්ද අපිට අවශ්‍ය කරන පාලිත තත්වය කියන එක. එතනදි අපි සලකා බලන්න ඕන අපි පවත්වා ගැනීමට අපේක්ෂා කරන උෂ්ණත්ව පරාසය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, ආලෝකයේ තීව්‍රතාවය, වාතාශ්‍රයේ හැසිරීම වගේ කාරණා. ඒ සාධක ටික බෝගයෙන් බෝගයට සාපේක්ෂව වෙනස්. හැබැයි අපිට පුළුවන් නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-28 පරාසයේ, සාපේක්ෂ ආර්ද්‍රතාවය 60-70% ට පවත්වා ගන්න, ඔන්න පුළුල් පරාසයක බෝග වගා කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ආලෝකය මනින Lux මීටරයක් තියෙනවා නම් අගය 45000ට ඉහළින් පවත්වාගන්න ඕන. අන්න ඒ අගය නම් සමහර බෝගවලට ඉතාම සංවේදියි. කොහොම වුනත් හොඳ වාතාශ්‍රයක් එක්ක ඔය කියපු තත්ව පාලනය කරගෙන ආරක්ෂිත ගෘහයක් නඩත්තු කරන්න පුළුවන් නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි ආරක්ෂිත ගෘහයක් කියලා හදන්නේ GI බට ටිකක් යොදාගෙන හදන සැකිල්ලකට UV treated පොලිතින් වලින් ආවරණය කිරීම. සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් කියලා උපකල්පනය කරලා පොලිතින් ගෘහයක් හැදුවොත් අභ්‍යන්තර උෂ්ණත්වය නිරායාසයෙන්ම සෙල්සියස් අංශක 40 කට වැඩි අගයකට ඉහළ යනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය 80% කට වඩා ඉහළ යනවා. ඒ වගේ ගෘහයක් ඇතුලේ මනුස්සයෙක්ට වැඩකරනවා කියන එක සෑහෙන අමාරු වැඩක්. බෝගවලටත් එසේමයි. ඊටපස්සේ මේක සිසිල් කරන හැටි හොයනකොට හම්බවෙනවා Misters එහෙම නැත්තන් fogging system එකක්. ඔන්න තව වියදමක්. උෂ්ණත්වය එක්ක තෙතමනය එකතු වුනාම ඊළඟට වෙන්නේ දිලීර රෝග ව්‍යාප්ත වෙන එක. ඊටපස්සේ කෙළවරක් නැතුව දිලීර නාශක යොදන්න වෙන එක. අන්තිමේ වෙන්නේ වගාව අතහැරලා දාන එකයි. හැබැයි මේ ඔක්කොම අභියෝග ජයගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
ඒ තමයි Evaporation එහෙමත් නැතිනම් වාෂ්පීකරණ තාක්ෂණයෙන් ගෘහය සිසිල් කිරීම. ආයෝජනය ටිකක් ලොකු වුනත් සෑහෙන කාලයක් වැඩේ කරගෙන යන්න මේ තාක්ෂණයෙන් ලැබෙන්නේ ලොකු පිටුවහලක්. සරලවම මේ තාක්ෂණයෙන් කෙරෙන්නේ ගෘහයේ එක අන්තයක පිහිටි සිසිලන පද්ධතියක (cooling pad system) ඇති ජලය වාෂ්ප කර ගෘහය හරහා ගොස් පිටකුරු පංකාවක් (Exhaust fan) මගින් පිටතට යොමු කිරීමයි. මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද cooling pads වෙළෙඳපොලේ තියෙනවා. අපි කළයුත්තේ බිංදු ජල සම්පාදන බටයක් මගින් එම පෑඩ් එක මතට ජලය වෑස්සෙන්න සැලැස්වීමයි. එම ජලය චක්‍රීයව ගලායන විදිහට පොම්පයක් ආධාරයෙන් ටැංකියකට යොමු කිරීමයි. අනිත් අන්තයේ පිටකුරු පංකාවෙන් පෑඩ් එකේ පහළට වෑස්සෙන ජලය වාෂ්පකරලා එලියට පිටකරනවා. මේ ක්‍රමයෙන් ඉතාම පහසුවෙන් පිටත උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5 කට වැඩි ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. එහෙම කරලත් උෂ්ණත්වය වැඩිනම් හොඳම විසඳුම අවශ්‍ය වෙලාවට හකුළන්න දිගහරින්න පුළුවන් Aluminet වර්ගයේ සෙවණ දැලක් යොදන එකයි. සමහර බෝගවලට Misters (මිහිදුම්කාරක) අවශ්‍ය වෙනවා. නමුත් ඒක ඉතාම ප්‍රවේශමෙන් කරන්න ඕන. එහෙම කලොත් ඔන්න අපේ රටේ ඕනෑම ප්‍රදේශයක අපිට කැමති බෝගයක් වසර පුරාම පාලිත තත්ව යටතේ ආරක්ෂිත ගෘහ තුළ වගා කරන්න පුළුවන්. ඇත්තටම ආරක්‍ෂිත ගෘහ තුළ බෝග වගාව කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ අනාගතය. ඒ තාක්ෂණය හරියට භාවිතා කරොත් විතරයි ඒ තාක්ෂණයට පැවැත්මක් තියෙන්නේ.